Monday, October 31, 2011

සොදුරු හදවතක් ...

                                          
                              ගොඩක් මිනිස්සු ආදරය කරන්න දන්නවා උනාට තව කෙනෙකුගේ ආදරයක් වෙනුවෙන් උපකාරයක් පරිත්ත්‍යගයක් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ බොහොම ටික දෙනයි. එවන් විරල මිනිසෙකු සම්බන්ද කතාවක් තමයි මේ , 
                                 මේ කියන යාළුවා අපි සදුන් කියල කියමුකෝ , සදුන් ලංකාවේ ප්‍රධාන සන්නිවේදන ආයතනයක පුහුණු ඉංජිනේරු ශිල්පියෙක් හැටියට සේවයට එකතු උනා.දැන් ඉතින් සදුන් අගනුවර වටේම සන්නිවේදන ජාල බිද වැටීම නිවැරදි කරමින් , නව සන්නිවේදන ජාල ගොඩනගමින් තමයි කාලය ගත කරන්නේ.  
                      දවසක් සදුන් තව කාර්මික ශිල්පියෙක් එක්ක රාජකාරි කටයුත්තකට කොල්ලුපිටිය ට ගියාලු , අපි මේ තාක්ෂණික ශිල්පියාව කිර්ති කියල කියමුකෝ , ඔන්න ඉතින් දැන් ගියපු කරනවා නිමකරලා අපහු එන ගමන් කිරිති සදුන් ට කියනවලු , සර් පුලුවන්නම් පොඩ්ඩක් අපි ජුවලරි ෂොප් එකක් ගාව නවත්තල යමු කියල ( කිරිති සදුන්ට වැඩ වයසින් හා සේවා කාලයෙන් උසස් උනත් තනතුර මත කාර්මික ශිල්පින් ඉංජිනේරු අංශයේ අයට සර් කියා අමතයි )

සදුන් - කීර්තිට මොනවද ජුවලරි ෂොප් එකෙන් ගන්න තියෙන්නේ ? 
කිර්ති - සර් මට මුද්දක් ගන්න ඕනි , පොඩ්ඩක් නවත්තල යමුද ? සර් . 
සදුන් - හා හා කීර්ති කාටද මුදු ගන්නේ , 
කීර්ති - අනේ නැ සර් ටිකක් කල් අපි දෙන්නා යාළුවෙලා, අපේ ඔෆිස් එකේම ඉන්න ගර්ල් කෙනෙක් එක්ක තමා යාළුවෙලා ඉන්නේ. වැඩිය කවුරුත්  දන්නේ නැ .
සදුන් - ඉතින් මොකටද දැන් මුද්දක් . 
කීර්ති - සර් අනිද්දා එයාගේ උපන්දිනේ අපි දෙන්නා යාළුවෙලා එන පලවෙනි උපන්දිනේ එකට මොනව හරි වටින මතක තියන දෙයක් දෙන්නා ඕනි
                                           
                                         කොහොම හරි දෙන්නම දැන් ජුවලරි ෂොප් එකකට ගියාලු . මේ කලේ බඩු වල ගණන් අමුතුවෙන් කියන්න ඕනි නැනේ . ලස්සන මුදු ගොඩක් තිබුනත් කීර්තිගේ පර්ස් එක හුරලා තියන ඔක්කොම සල්ලි දැම්මත් ඒවා ගන්න බැලූ , අනික මාසේ අන්තිම නිසා පඩිත් නෑලු . කොහොම හරි කීර්ති මුදු කිපයක් බලලා පස්සේ ගන්න තියල ආවලු . 
                                                               කොහොමහරි අපහු මේ දෙන්නා එනකොට . ප්‍රධාන ආයතනයෙන් ඇමතුමක් ආවලු තව තැනක රාජකාරි කටයුත්තකට යන්න කියල , එතන කාර්මික ශිපින්ට ( උප කොන්ත්‍රත් ආයතනයක් ) වැඩේ කරගන්න බැරුව තව වැඩේ දන්නා කෙනෙක් එවන්න කියල , කොහොම හරි සදුන් ගිහිලා එතන වැඩේ කරලා  දුන්නලු . එහෙම උප කොන්ත්‍රත් ආයතනයක් වැඩක් කරාම  ඒ ආයතනයෙන් මුදලක් ගෙවනවලු , එකට ඒ ආයතනයේ අය සදුන් ගේ විස්තර පුරවන්න ෆෝම් එකක් දුන්නලු සල්ලි එවන්න , එතකොට සදුන් එකට කීරිතිගේ විස්තර දාල පුරවල ,  පස්සේ කීර්තිට කතා කරලා කිව්වලු , මේ සල්ලි මට වඩා ඔයාට ඕන කරනවා, හෙට සල්ලි ඔෆිස් එකට ආවම ඔයාට ගිහිල්ල කලින් බලපු ලස්සන මුද්ද ගන්න පුළුවන් ඔයාගේ ගර්ල් එක්ක උපන්දිනය සතුටින් ගතකරන්න පුළුවන්. කියල   ෆෝම් එක බාර දුන්නලු .  


"මේ වගේ සුන්දර හදවතක් තියන මිනිසකු මගේ මිතුරකු වීම මට මහත් ආඩම්බරයකි "
 

Monday, October 24, 2011

ගඩාෆි සහ අපි නොදුටු පැත්ත .

                                                        ඔන්න ඉතින් මේ දවස් වල ගඩාෆි ගැනමනේ පත්තර වල තියෙන්නේ, කොහොම හරි ඉරිදා පත්තරේ ගෙදර පුටුවට වෙලා බල බල ඉන්න කොට දන්නෙම නැතුව නින්ද ගියා. ඔන්න ඉතින් හීනෙන් එකපාරටම රජ ඇදුම් ඇදගත්ත රජෙක් ලිබියාවේ හන්දියට වෙලා හුල්ල හුල්ල ඉන්නවා මට පේනවා  , මමත් ඉතින් ලංවෙලා පොඩ්ඩක් බැලුවා කවුද මේ රජතුමා කියල , මගේ මනසින් ඉතිහාස පොතේ පිටු පෙරල පෙරල බලනකොට . ඔන්න මතකෙට අවා මේ අපේ රටේ අන්තිම රජතුමානේ " ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමනේ".  
                                             මමත් ඉතින් ටිකක් ලංවෙලා රජතුමාගෙන් මෙහෙම ඇහුව , පස්වාන් දහසකට බුදුවන්න මහා රජතුමනි මොකෑ මේ ලිබියාව හන්දියට වෙලා කොරන්නේ ඔබතුමා ඉන්න ඕනි , කන්ද උඩරටනේ.  නැ මට මගේ කාලේ මතක් උනා , දුකටත් එක්ක මෙහෙ බලන්න ආවා.
                                                               ඔන්න ඉතින් මට කිසි දෙයක් තේරුනේ නැති නිසා මම කිව්වා , අනේ මහා රජතුමනි මට ඔබතුමා කියපු දේ තේරුනේ නම් නෑ කියල. එතකොට රජතුමා මගේ මුණ දිහා හොදට බලලා උබලට ඔය ටික තෙරුනා නම් මගේ රටට මෙහෙම කලක් යාවිද කියල . ලිබියා හන්දියේ වෙඩි වරුසාවකට හිල් වෙලා තිබ්බ තාප්පයක් උඩ හරි බරි ගැහිලා ඉදගත්තා , මමත් ඉතින් රජු සමග සම අසුන් සුදුසු නැති නිසා ලග තිබ්බ කරටිය කැඩුණු ලයිට් කණුවකට හේත්තු උනා . 
                                                                                   
                                                                                ඔන්න ඉතින් රජතුමා මෙහෙම කතාව කියන් යනවා , ඒ කාලේ ඔය තෙල් වලින් කිසි වැඩක්  නැනේ "ඒ කියන්නේ රජතුමාගේ කාලේ" , ඒ කාලේ වටිනා කමක් තිබුනේ කුරුදු ,තේ ,කොපි ලස්සනට වගාකරන්න පුළුවන් ඉඩම් පරිසරය තිබ්බ රටවල් නේ , "අද තෙල් තියන රටක ගඩාෆි පාලකයා උනා වගේ , එදා මම ලංකාවේ පාලකයා. " දැන් ඉතින් මගේ ටිකිරි මොලේට පොඩි අදහසක් නම් ආවා ඇත්තටම මේ ලෝකේ මොකද වෙන්නේ කියල   "  රජතුමා දිගටම කියනවා, කොහොම හරි සුද්ද අපේ මෝඩ මිනිස්සු ටිකකුයි බල ලොබි නායකයන් ටිකකුයි අල්ලාගෙන මටත් එදා කලේ ඔය ටිකම තමා . පස්සේ අපේ රටේ මිනිස්සු ඔය ටික තේරුම් ගන්නකොට කාලය ගිහිල්ල , 
                                                                 ඉතුරු ටික අපි හැමෝම දන්නවනේ සුද්ද ලංකාව හුරන්  කාල , කළු සුද්දෝ ටිකක හදල ගිය හැටි , ලිබියවටත් වෙන්නේ ඔය ටිකම තමා , එදා අද කියල වෙනසක් නෑ උන් හැමදාම  පොඩි රටවල් හුරන් කනවා ..... උබලා වත් මේවා තේරුම් අර...........  


රෑ....... සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා.............. 


මගේ ජංගම දුරකථනය එකදිගට නාදවෙනවා   මගේ නින්දත්  කැඩුනා අපරාදේ රජතුමා තව මොනවා හරි කියන්න ගියා දැන්මොනවා කරන්නද ...........






"ඉතිහාසය වර්තමානය අතර එක පැතිකඩක් පමණි පුද්ගල චරිත සම්බන්දයෙන් තව බොහෝ පැති  තිබිය හැක "

Monday, July 25, 2011

King Country University

 

ඔන්න ඉතින් අපේ තරු කැම්පස් එකට තේරිලා නායකත්ව පුහුණුවත් සාර්ථකව ඉවරකරලා ඉන්නේ. පහුගිය දවසක් තරු මාත් එක්ක මුහුණු පොතේ පොඩි කතා බහකට එකතු උනා

මම : කොහොමද තරු කැම්පස් එක , දැන් පටන් ගත්තද ? 
තරූ : අපෝ අයිය කතා කරන්න එපා, රජරට කැම්පස් එකට තමා යන්න තියෙන්නේ, එපා වෙනවා 
මම  : ඒ මොකද තරු  ඒ එක හොද කැම්පස් එකක් නේ?
තරූ : ඕකනේ අයිය දන්න තරම තමා, මම ගිය සතියේ එහෙ ගියා.( ලියාපදිංචි වීම සදහා ) අවුව ට පිච්චෙනවා පහසුකම්  හරියට නැ
මම :  ඔන්න තරු දන්න තරම ඕක ජාතියන්තර පිළිගැනීමක් තියන විශ්වවිද්‍යාලයක්, එතකොට එහෙ අවුව වැඩිනම් සන් ක්‍රීම් එකක් අරන් යන්න 
තරූ : ඒ කොහොමද ඒ අයියේ. ඒ කැම්පස් එකේ නම වත් මිනිස්සු හරියට දන්නෙත් නැ.
මම : ඔන්න එහෙනම් අහගන්න තරු, ජාතියන්තරයේ භාෂාව English , දැන් ඔයාගේ කැම්පස් එකේ නම කොහොමද English වලින් කියන්නේ රජ = king  රට=Country  එතකොට ඔයා යන්නේ 
king country university 
එතකොට ඕකෙන් ඔයා උපාදියක් අරන් පිට රට ගියාම එහෙ මිනිස්සු හිතනවා ඔයා ගිහිල්ල තියෙන්නේ රාජකීය උරුමයක් තියන කැම්පස් එකකට කියල , කොහොමද එතකොට පිලි ගැනීම ..
තරූ : දැන් නම් අයියේ පොඩි කික් එකක් තියෙනවා එහෙම නම් කැම්පස් යන්නම ඕනි ............. 
මම :  කොහොමද තරූ සන් ක්‍රීම් ගාලා kingCountry university එකට යනකොට තියෙන පොෂ් එක ..... 
තරූ  : අනේ මේ මම කිව්වා කියල හිතා ගන්න අයියේ  .......... $%#^&%^$

Friday, July 22, 2011

අපි යුද්දේ කරපු හැටි

                  ඔන්න ඉතින් ඊයේ පෙරේදා දවසක හවස මම ගෙදර ඉස්සර ඉස්තෝප්පුවේ වාඩිවෙලා ඉන්නකොට මට ඇහෙනවා රුපවාහිනියේ කවුදෝ හාදයෙක් අපි යුද්දේ කරපු හැටි කියල හෙන දේශනාවක්දෙනවා.මට හොදටම ෂුවර් මිනිහ යුද්දේ කාලේ අනුරාධපුරෙන් එහාට ගිහිල්ල නැතුව ඇති. ඔන්න ඉතින් ඔය ටික ඔලුවට එනකොට තම මට මතක් උනේ අපි මොනවද යුද්දේ කාලේ කලේ කියල   

අන්තිම ඊළම් යුද්දේ පටන් ගන්නකොට අපි ඉස්කෝලේ උසස්පෙළ පන්තිවල, ටිකෙන් ටික මගේ මතකය ඒ කාලෙට ඇදිල ගියා. යුද්දේ පටන් ගත්තේ සාම්පුර් පොලිස්සියට ගහල මාවිල්ආරු සොරොව්ව වහල, එතකොට අපේ අයට යුද්දේ ගැන ලොකු වැටහීමක් තිබුනේ නැ.කොහොම හරි තොප්පිගලින් යුද්දේ කොටසක් නිමවෙනකොට තමයි අපේ මිනිස්සුන්ට ඒ ගැන පොඩි වැටහීමක් ආවේ, හැබැයි සමහරුන්ට එකත් තිබ්බේ නැ,අපේ යාලුවෙක් ඔන්න පන්තියට ඇවිල්ල කියනවා 
" මචං තොප්පිගල ගේම ඉවරයි යාපනේට තව පොඩ්ඩ දුරක් නේද තියෙන්නේ එකත් ලගදීම ඉවර වෙයි ලු නේ " කියල , ඔන්න අපේ අයගේ දැනුම 

කොහොම හරි ඕක නෙමෙයි මම කියන්න ගියේ 
                                    දැන් ඉතින් මගේ මතකේ ඒ කාලෙට ඇදිල යනවා, හරි ඔය තියෙන්නේ අපි යුද්දේ කාලේ කරපුව කොළඹ අපිට යුද්දේ නොතිබුනාට මේහේ බෝම්ම්බ පිපුරුවනේ , අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ බෝම්බයක් පිපුරුනාම කියාද කියල අහන්න ....... කොහොම හරි උදේට බෝම්බයක් පිපුරුනොත් දවල් 12 ට ගෙදර වෙලපහෙන් නිවාඩු, හවස පිපුරුනොත් පහුවෙනිදා නිවාඩු... ගෙදර .......නැත්තම් බෝම්බ ලොරියක් හරි කොළඹ පුපුරුවන්න කොටි අවා කියල දවසම නිවාඩු අපි ඉතින් ගෙදරට වෙලා Breaking නිවුස් බල බල ඉන්නවා , බලන් ගියාම මෙහෙ අය යුද්දේ කාලේ ගෙදරමනේ ඉදල තියෙන්නේ දැන් ඔය කැගැහුවට, 
ඔව් ඉතින් ගෙදර ඉන්නේ නැතිව මොකෝ තුවක්කු අරන් යුද්දෙට යන්නද ?
 අමතක කරන්න නරකයි අපේ වයසේ ගම්වල තරුණ කොල්ලෝ ගොඩක් යුද්දෙට ගියා කියල.

ඇයි එතකොට අපි පූනරීන් ඇල්ලුවම මෙහෙ කොඩි දැම්මේ , අලිමංකඩ ඇල්ලුවම රතිඤ්ඤා දැම්මේ කිලිනොච්චි ඇල්ලුවම කිරිබත් කැපුවේ . ඔය තියෙන්නේ අපි දුන්න සහය. 
( හැබැයි ඔයිට වඩා දෙයක් අපිට කරන්න තිබ්බෙත් නැ ) 

කොහොම හරි මගේ මතකෙට නිකම් වගේ අවා අන්තිමට 18 වෙනිදා රතිඤ්ඤා දාල , පාරපුරා කොඩි අරගෙන දුවල , කිරිබත් හදල කාලා අපි විනෝද උනාට මේ ජයග්‍රහණයට ඇත්තටම දායක වෙලා, අත පය නැතුව මෙහෙ රෝහල් වලට වෙලා හිටපු සෙබලු කී දෙනෙක්ට එදා ඒ කිරිබත් කැල්ලක් දෙන්න අපේ අය කී දෙනෙක්ට මතක් උනාද කියල දැන් ඉතින් ඕව මතක් උනාට වැඩක් නැනේ අතීතෙට යන්න බැනේ. සමහර දේවල් ඔලුවට එන්නේ ටිකක් පහුවෙලා 

රුපවාහිනියේ පොර තාම දේශනාව දෙනවා වැඩේ කරපු හැටි ගැන, හැබැයි අර සොල්දාදුවෝ ගැන වචනයක් වත් නැ. " ඔව් ඉතින් මෙහෙ ඉදන් හුරේ දාපු අපිනේ යුද්දේ කරේ "

Friday, July 15, 2011

තව ලියලා ඉවර නොමැත දෙවියනේ .....


මෙය මිල්ටන් පෙරේරා මහතාගේ ' වැඩකරලා ඉවර නොමැත දෙවියනේ ' 
යන ගීයේ තනුවට  අනුව නිර්මාණය කර ඇත  ............

තව ලියලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා බ්ලොග් ලියන්න සෙට් උනේ 
කතා ලියලා කොල්ලෝ ඇවිත් බනිනවා 
කෙල්ලෝ ඇවිත්  හිනා වෙවී බලනවා  

දන්නේ කවුද අපේ කතා මං තරම් 
කන්නේ බොන්නේ බ්ලොග් එක ලියනා ගමන් 
පාඩම් කර රෑ 12 ට ලොග් උනා
උදේ අටට විභාගෙකුත් සෙට් උනා 

තව ලියලා ඉවර නොමැත දෙවියනේ ..........//

දින පොතේ වැඩටම මගේ හිත ඇදෙයි 
පාඩම් වැඩට වඩා බ්ලොග් එකට ආදරෙයි  
ඇස් රතු වී ප්‍රතිපල මගේ නිල් වෙලා 
බ්ලොග් කෙරුමේ හැටි දැන් මට තේරුනා 


තව ලියලා ඉවර නොමැත දෙවියනේ .............//


බ්ලොග් කරණයේ දී සිදුවූ ප්‍රයෝගික අත් දැකීම් අලලා රචනය කර ඇත .



Monday, July 11, 2011

නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ වාරය ඇවිල්ල ..........



නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ වාරය ඇවිල්ල ............
මේ දවස් වල කැම්පස් වල අධ්‍යන කටයුතු කෙරෙන්නේ නැති නිසා ,
ගෙදරට වෙලා ටිකක දවල් වෙනකම් නිදා ගන්න එක තමා කරන්නේ 
" මේකාලේ ලාංකීය තරුණ පරපුර  ටිකක නින්දට බරයිනේ "
කොහොම හරි උදේ පාන්දර නිදාගෙන ඉන්න කොට  ( උදේ කිවුවට 10.00 ට විතර )  
ඔන්න මට නිකම් හිනෙනේ වගේ ඇහෙනවා නැගිටපල්ලා නැගිටපල්ලා කියල .......
 
හරි  ෂුවර් එකටම, කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ලේක්චර්ලගේ සටනට සහය දෙන්න තීරණය කරලා තමා 
දැන් ඉතින් මගේ නින්දට තමා කෙල වෙන්නේ, දැන් ඉතින් කැම්පස් පලයන් කෝ .......හපොයි...... 
හැබැයි දෙගොල්ලෝ එකතුවෙලා ආණ්ඩුවට  ගේමක් දීල සටන දින්නොත් .......  
හපොයි ගෙදර නිදාගන්න තියෙන දවස් ටික තමා නැති වෙන්නේ .......   හැබැයි එක වෙන්න විදිහක් නැ
අපේ කොල්ලෝ කෙල්ලෝ මොකටද ගුරාලගේ සටනට සෙට් වෙන්නේ ....... 
ඇවිල්ල උගන්නන දවසකට , අපි ගිහිල්ල ඉගෙන ගන්නවා ...........
ඔන්න ඔහේ කොට්ටේ බදාගෙන මම තව ටිකක බුදිය ගන්නවා ..........

කොහෙද විනාඩි පහක් වත් නිදාගන්න ලැබුන් නැ අපහු ඔන්න ඇහෙනවා නිකම් හීනෙන් වගේ 
"නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ වාරය ඇවිල්ල "  වගේ කවුරු හරි කියනවා 
ෂුවර් එකටම ඔය කියන්නේ නුබලගේ වාරය ඇවිල්ල කියල 
අර ඇමතිතුමා කිව්වේ  කහ චොයිස්  , සුදු චොයිස්  ..........
ඔය ඒක තමා කියන්නේ,  ඇත්තටම අපේ වාරේ ඇවිල්ල නේන්නම් ....
කොට්ටේ බදාගෙන බුදියන් ඉදල හරියන්නේ නැ ...................
රැවුලයි, කොණ්ඩෙයි  වවාගෙන සෙරප්පු දා ගෙන කැම්පස් ගිය කාලෙට ආයුබෝවන් කියන්න ඕනි.
එකත් එකටම  කහ චොයිස්, සුදු චොයිස්  හොයාගන්න  කැම්පස් එන්න ඕනි නැනේ 
ඒවට වෙන වෙන තැන තියනවා නේ .............
ඔන්න ඔහේ තව ටිකක් බුදිය ගන්නවා ............

ඔන්න ඒපාර භුමි කම්පාවක් වගේ මාව හෙල්ලිලා ගිහින් ඇහැරුනා 
අර කට හඩ  ආපහු ඇහෙනවා ............. 
නැගිටපන් කොලුවෝ නැගිටපන්  මේ තේ එක නිමෙනවා  
යසයි වැඩේ 10.00 ත් වෙලා කැම්පස් නැ කියල මෙහෙමත් නිදා ගන්නවද ?
 හපොයි මෙච්චර වෙලා අම්ම නේ කතා කරලා තියෙන්නේ .........
මගේ තේ එක ..............


"නැගිටපන් මිනිහෝ නැගිටපන් නැත්නම්  උබේ තේ එක නිමෙයි" 
මම මටම කියා ගෙන ඇදෙන බැස්ස ........

Saturday, July 9, 2011

ආදරේට..............


ආදරේ කරද්දී සමහරු පිස්සු කෙලිනවා, 
ආදරේ ලබාගන්න සමහරු පිස්සු වැඩ කරනවා, 
ආදරය නැවතුනාම සමහරු පිස්සු නටනවා ....
මේක ආදරේ ලබාගන්න බැරුව කොල්ලෙක් කරපු වැඩක් ........ 

වෙලාවට වැඩේ හරිගියේ නැ ..... 

ඔන්න ඉතින් මේ කියන යාළුවා එයාගේ එහා ගෙදර කෙල්ලට ලව් කරා,
කෙල්ල කොහොමහරි කොල්ලට කැමති නැ.
කොල්ල try කරලා try කරලා බැරිම තැන ආදරයේ නාමයෙන් දිවි තොරකර ගන්න හිතල .........
ඔන්න දැන් මිනිහ තීරණ දෙකකට අවා , 
1 වස බීම
2 බෙල්ලේවැල දමා ගැනීම  
කොහොම හරි, වැඩේ හරියටම හරියන්න කියල මිනිහ මේ ක්‍රම දෙකම එකපාර 
ක්‍රියාත්මක කරන්න තීරණය කරලා,
ගෙදරටයි, කෙල්ලටයි ලියුම් දෙකක් ලියල , වැඩේට ලෑස්ති උනාලු 
ගෙදර මේසයක් උඩ නැගලා බාල්කෙට ලනුවක් ගැටගහල බෙල්ලට තොන්ඩුව දා ගෙන  
වහ බෝතලේ බොන ගමන් මේසෙන් පනින්න හිතල , වහ බෝතලේ කටට ලංකරලා 
මෙසේ අයිනට ගිහිලා පනින්න. 
කොහොම හරි මිනිහගේ බරට මෙසේ පැත්තෙන් ඉස්සිලා මිනිහ ලනුවත් කඩාගෙන බිම වැටිලා 
වහ බෝතලේ  කටේ ඇනිලා , වැටුන පාරට  මිනිහගේ අතකුත් කැඩිලා .....
මාසයක් විතර රෝහලේ ආදර සුව වින්දලු.............

පසුව ලියමි ...
මේක මම බ්ලොග් එකේ දාන්න කලින් අපේ කතා නායකයාගේ ගෙදර ගාව ඉන්න 
යාලුවෙක්ට කෝල් එකක් දුන්න පොඩි කරුණු ටිකක මතක් කරගන්න ... 
(මිනිහ තමයි මට ඔය කතාව කිව්වේ )    මිනිහ එපාර මට කියනවා 
අපේ කතා නායකයා මේදවස්වල  අර කෙල්ලගේ නංගිට ලවු කරනවලු ..
ගමේ කට්ටිය ඔක්කොම බලන් ඉන්නේ මේපාර අපේ ප්‍රේම රාජයා  ආදරේට 
කරන්න යන්නේ මොකක්ද කියලලු ............... 

Monday, July 4, 2011

රජ මගුල්





ඔන්න ඉතින් පහුගිය මාසේ එංගලන්තේ රජ ගෙදර , රාජකීය මංගල්‍යය තිබුණනේ එදා ඉතින් අපි කැම්පස් එකට වෙලා ඔය ගැන කතා කර කර ඉන්නකොට අපේ එක යාලුවෙක් මෙහෙම කතාවක් කිව්වා,

ලංකාවේ මිනිස්සු ලැජ්ජා නැතිව දැන් සුද්දගේ රජගෙදර මගුල් බලනවා, අපේ මිනිස්සුන්ට මතක නැ, අපිටත් රජෙක් හිටියා කියල. අපේ රජාට මොකද උණේ?
සුද්දා ඇවිල්ල කිව්වා රජවරු එකාදීපතියෝ, ජනතාවගේ සල්ලි කාබාසිනියා කරනවා,
තව අනන් මනං ගොඩක් කතා කියල, අපේම පිරිසක් එක්ක එකතුවෙලා " කන්ද උඩරට ගිවිසුම " ගහල
අපේ රජාව, රාජකීය පරපුරම පිටුවහල් කරලා මරල දැම්ම
දැන් අපිට රාජකීය උරුමයක්, පෙළපතක් නැ
රාජකීය මගුලුත් නැ.
හැබැයි අරම කියපු සුද්දා උන්ගේ රජ පර පුර තාම රකිනවා, රජ මගුල් ලෝකෙටම පෙන්නනවා
අපේ මිනිස්සුත් කට ඇරගෙන මගුල් බලනවා, නිදහස අරන් 60 ත් පැන්න.
ටිකක හිතල බලන්න වැඩේ කොච්චර සාධාරණද කියල......................

දැන් අපේ යාළුවා දිගටම මෙහෙම කියන් කියන් යනවා, එතකොට තව යාළුවෙක්
" උබට පිස්සුද බන් විකාර ඉතිහයයක් කියන්නේ " කියල ඇහුව ඔන්න එතකොට

අර යාළුවට ටිකක් තරහ ගිහිල්ල මෙහෙම කිව්වා ඔන්න අහගනින් තේරෙන භාෂාවෙන්


මම උබේ ගෙදරට ඇවිල්ල, උබට කියනවා තාත්තල ළමයින්ට අනවශ්‍ය නීති දානවා
තාත්තල ගෙදර ඉන්න එකාධිපතියෝ කියල, උබේ තාත්තාව මරල දානවා ,
ඊට ටික කාලෙකට පස්සේ මම උබලගේ ගෙදර අයට කියනවා ,
දැන් ඇවිල්ල මගේ තාත්තට වැදපන් කියල ..........
ඔන්න ඔය වගේ වැඩක් තමයි සුද්දා අපිට කරේ ....
ඒ පාර නම් කට්ටියටම මිනිහ කිව්වේ මොකක ද කියල තේරුණා

මොනවා උණත් මිනිහ කිව්වා කථාවේ අදටත් ඇත්තක් තියනවා කියල මට හිතෙනවා ...............

Friday, July 1, 2011

නිල් සෙබළිය



ඔන්න ඉතින් මේක උසස් පෙළ කරන කාලේ ( යුද්දේ පටන් ගත්ත කාලේ ) උණ එපා වෙන වැඩක්.....,

අපේ යාළුවෝ ටික උදේ ඉස්කෝලේ ගිහිලා හවස අමතර පන්ති වලින් පස්සේ ( සමහර විට ඊට කලින් ) ඉතින් සුපුරුදු ලෙස මුහුදු වෙරළට යනවා. කොහොම හරි එදා සිකුරාදා හොදටම රෑ වෙනකම් ම කට්ටිය මුහුදේ තමා හිටියේ හිටියේ. ඔන්න රෑ වුණ නිසා මමත් තව තුන් දෙනෙකුත් ලගපාත යාළුවෙක් ගේ ගෙදර යන්න සෙට් උණා.....

දැන් අපි යාලුවගේ ගෙදර යන්න තියන අන්තිම බස් හෝල්ට් එකට අවා.එතකොට වෙලාව 8.00 විතර වෙලා ඇති,මිනිහ ඉන්නේ නෙවි කැම්ප් එකක් තියන හරියේ, කොහොම හරි කැම්ප් එක පහු කරලා තමයි මේ යාලුවගේ ගෙදර යන්න ඕනි. දැන් ඉතින් රෑ හින්ද ඒ පාරේ බස් නැ , අපි පයින්ම ගාටන්න ගත්ත, කැම්ප් එක අයිනෙන්ම තමයි පාර තියෙන්නේ , හැබැයි කැම්ප් එක වටේට අඩි 7 ක් 8 ක් විතර උස තාප්පයක් තියෙනවා ,ඔහොම කැම්ප් එක ලගින් යනකොට එක යළුවෙක්ට පොඩි හදිසි අවශ්‍යතාවයක් ඇති උණා.....අපි කිව්වා ගෙදර යනකම් ඉමු කියල ,

කොහෙද ගමේ ඉන්න යාළුවා කිව්වා...
" මටත් ටැංකිය හිස්කර ගන්න ඕනි පාරේ මොකෙකේ වත් නැ බය වෙන්න එපා මේක අපේ ගම කියල "

දැන් දෙන්නම කැම්ප් එකේ තාප්පේ ළග තිබ්බ ලොකු ගහක් ගාවට ගිහිල්ල කළුවර්ම වැඩේ කරනවා. ඔන්න එතකොට අපිත් එක්ක හිටපු එකෙක් කිව්වා උබලට ලජ්ජා නැද්ද ගම තෙමන්න කියල. එතකොට ගමේ එකා හයියෙන් කෑ ගහල කිව්වා ..........

" යකෝ මේක අපේ ගම අපිට ඕනේ තැන අපි තෙමනව " කියල....ඔන්න එත් එක්කම කවුද කෙල්ලෙක් ගේ සැර කට හඩක් ඇහුණා......." එයි ඔතන කවුද? " කියල.

                        ඔන්න එතකොට තමයි දෙලෝ රත් උණේ , මටත් හිතාගන්න බැ කටහඩ අවේ කොහෙන්ද කියල, එත් එක්කම හෙණ ලයිට් එළියක් නිකම් අහසින් වගේ ගහ ගාවට පාත් උණාඔන්න එතකොට තමයි අපි දැක්කේ ගහට එහා පැත්තෙන් කැම්ප් එක ඇතුළේ උස මුර අට්ටාලයක් තියෙනවා.....

හුටා කළුවරේ කවුද උඩ බලන්නේ අර මුර අට්ටාලේ උඩ නිල් පාට නිල ඇදුම් ඇදගත්ත කාන්තා සෙබලියන් දෙන්නෙක්.වහ කාපිය කිව්වලු , දැන් මොකද කරන්නේ......වෙලාවට අපි තුන් දෙනෙක් පාසල් නිල ඇදුම් ඇදල හිටියේ.....

" මේ මල්ලිලා ඔය වැඩේට ගමේ වෙන තැනක් හොයා ගත්තොත් හොදයි "
දැන් ඉතින් මරු ......අර ගමේ යාළුවා එකපාරටම කලබලේට,

" නෑ සර් ......ආ ... නෑ ....මේ අක්කේ අපි මේ ගෙදර යන ගමන් " කියල යන්තම් කියාගත්ත ........තව පොඩි වචන කිහිපයක් දාල කොහොම හරි යන්තම් එතනින් ලිස්සල අවා. අපිට නම් මැරෙන්න හිනා ............

පස්සේ අපේ ගමේ යාළුවට " නෑ සර් අක්කේ " සහ " නිල් සෙබළිය " කියල නම් කීපයකුත් හැදුනා.......කොහොම හරි පස්සේ තමයි අපි දැන ගත්තේ ඒ හරියේ කැම්ප් එක ඇතුළේ කාන්තා සෙබලියන් ගේ නිල නිවාස තියෙනවා කියල , එකේ මුරට තමයි දෙන්නෙක් ඉදල තියෙන්නේ....

(දින වක වානු හා කාල වෙලාව, නම් ගම් ස්ථාන පිළිබද රහසිගත බව උදෙසා වෙනස්කම් කිහිපයක් කර ඇති බව සලකන්න, මිතුරන් ගේ ගෞරවය උදෙසා )

Wednesday, June 29, 2011

මියුසියම් එකේ මියුසික්



මේකත් ඉතින් පොඩි කාලේ වෙච්ච දෙයක් , එතකොට මං හෝඩියේ පන්තියේ විතර ඇති , කොහොම හරි ඉතින් එක නිවාඩුවකට ගෙදර කට්ටිය අගනුවර සිරි නරබන වැඩ සටහනක් දා ගත්ත , දන්නවනේ ඉතින් , සත්තු වත්තයි , ගෝල්ෆේස් එකයි එතකොට මියුසියම් එක...
( කටු ගෙදර ) ඔය ටිකනේ බලන්න යන්නේ...

මේක ඉතින් මියුසියම් එකේ නම හින්දා වෙච්ච හිනායන වැඩක් , දැන් ඉතින් ගෙදර අය කතා වෙන අතරේ මට ඇහෙනවා මියුසියම් එකක් බලන්න යන කතාවක් , කො ඉතින් ඔය නම මම කලින් අහල තිබුනේ නැනේ....කොහොම හරි මගේ පුංචි මොලේට එක පාරටම අවේ මියුසික් (සංගීතය) කියන තේරුම මොකද දෙකේම ශබ්ද උච්චාරණය එක වගේනේ...

අනික පොඩිකාලේ ඔය හැම වචනයකම තේරුම් දන්නේ නැනේ , දැන් ඉතින් මගේ හිතේ මියුසියම් එක බලන්න ගියාම එකේ පියානෝ වාදකයින් , වයලින් වාදකයින් , ගිටාර් වාදකයින් එතකොට තව ලස්සන සංගීතය එහෙම ඇති කියලා....

ඔන්න ඉතින් දැන් ගමනට පිටත් වුනා , කොහොමහරි ඉතින් දැන් මියුසියම් එකටත් ලං උනා , දැන් ඉත්න් මම හරි ආසාවෙන් මියුසියම් එකේ පඩිපෙළ නැගලා ඇතුලට ගියේ අර ලස්සන සංගීතයයි , සංගීත භාණ්ඩ වාදකයිනුයි දකින්න හිතා ගෙන , කෝ පරණ වීදුරු පෙට්ටියි, පිළිමයි , කාගේදෝ පරණ පුටුවකුයි තව පරන දේවල් ගොඩයි , දැන් ඉතින් මට මාර අප්සෙට් මෙලොදෙයක් හිතා ගන්ටබැ...

කොහොමහරි ඉතින් ඔක්කොම බලලා එලියට ආවම මම අම්මා ගේ අතින් ඇදල ඇහුව....
" කෝ අම්මේ මේ ම්යුසියම් එකේ මියුසික් මුකුත් තිබුනේ නැනේ කියල....?
අම්මට මුලින් එක තේරුනේ නැ , ටික වෙලාවකට පස්සේ ඉතින් ඔක්කොම බඩවල් අල්ලාගෙන හිනාවෙන්න ගත්තා.....කොහොම හරි අදටත් ගෙදර කට්ටිය ඕක මතක් කර කර හිනා වෙනවා , මොනවා කරන්නද ඉතින්...

සුද්දට තේරුන ලංකාවේ චන්ද කිරිල්ල




ඔන්න ඉතින් මේක පත්තරයක තිබ්බ කතාවක් , මොනවා උනත් අපේ අයට ටිකක් හිතන්න දෙයක් තියෙන හින්දා මේක දින පොතේ ලියන්න හිතුවා,
ඔය ගොල්ලන්ට මතක ඇති නේ පහුගිය ටිකේම අපේ රටේ චන්ද පෝලිමට තිබ්බා කොහොම හරි ඔය එක ලොකු චන්දයක් වෙලාවේ .සුද්දෙක් ඒ කියන්නේ සංචාරකයෙක් ලංකාවට ඇවිල්ල තියෙනවා ,
මිනිහ කොහොම හරි ටුවරිස් ගයිඩ් කෙනෙකුත් අරගෙන නුවර යන්න පිටත් වුනාලු දැන් ඉතින් කටුනායකින් එලියට ආපු ගමන්ම පෙන්නේ පාර පුරා තියෙන පෝස්ටර් ලු .සුද්දට මේක මාර ප්‍රශ්නයක් ලු මිනිහ කොහොම හරි අර ගයිඩ් ගෙන් ඇහුවලු ,මේ අර පාර පුරා මිනිහෙක් ගේ මුණ දාලා පෝස්ටරයක් ගහල තියෙන්නේ ඔගොල්ලන් ගේ රටේ පොලිසියට ඕන කරන ලොකු අපරාද කාරයෙක්වත් හොයනවද කියලා ,

ගයිඩ් ට දැන් මාර අප්සෙට් ලු මිනිහ කිවුවලු නැ නැ මේ අපේ රටේ ලගදි චන්දයක් තියෙනවා කියලා , කොහොම හරි අර ගයිඩ් සුද්දට ලංකාවේ චන්ද ක්‍රමය ගැන හොදට කියල දුන්නලු සුද්දාටත් මේක අහල දැන් ටිකක් විතර අප්සෙට් ලු . කොහොම හරි සුද්දත් නුවර යනකම්ම මග දිගට ඉටිකොළ සැරසිලි , යෝද කටවුටි එක්ක ලංකාවේ චන්ද කිරිල්ල ගැන හොදට බල බල ගියාලු. ඉතින් නුවර ගියාට පස්සේ සුද්ද අර ගයිඩ් ගෙන් ඇහුවලු ,

" අපේ රටේ මේ වගේ ලස්සන පරිසරයක් නැති හින්දා අපි මේ වගේ සුන්දර රටවල් වලට එනවා , ඒ වගේ ලස්සන මේ රට මෙහෙම විනාස කරන මිනිස්සුන්ට මෙ රටේ මිනිස්සු චන්දෙ දෙනවද කියල "

මේක අහල ඉතින් අපේ ගයිඩ් ට වස ලැජ්ජාවේ බෑ ලු . මොනවා කරන්නද . ඔය සුද්දට තේරුණා ටික අපේ මිනිස්සුන්ට තේරෙනව නම් මේ රට මීට වඩා හොදතැනක තියෙයි නේ ද ?
( තේරුනේ නැත්තම් ඉතින් ලංකාවට දෙවිපිහිටයි ඔහොම යන් ඉතින් )

අලුත් ආදරය

ඔන්න ඉතින් මගේ යාළුවා අද එයා අලුතෙන් ආදරය කරන්නපටන්ගත්ත එක්කෙනා එක්ක බෙල්ලන්විල පන්සල් ගිහිල්ල....

දැන් මිනිහ ඉන්නේ ෆුල් හැපි එකේ . එහෙ යනවා මෙහෙ යනවා හරි සතුටින් ඉන්නේ මොකද පරණ ආදරය වගේ මේකේ දුක් , හිත් බිදීම් නැනේ....මොකද මිනිහ අලුතින් ආදරය කරන්න ගත්තෙ බයික් එකකට නේ ( මිනිහ අලුතින් බයික් එකක් ගත්ත නේ ) කොහොම උනත් වෙනදේවල් බලනකොට බයික් එකකට ආදරය කරන එක හොදයි කියල හිතෙනවා ( දන්නවනේ පලවෙනි ආදරය බිද වැටුනට පස්සේ ඉතින් ) අද කලේ සැබෑවටම ආදරය කරන එක හරිම අමාරු වැඩක්නේ .............

කොහොම හරි කමක් නෑ මම නම් හිතන්නේ ඒ වගේ බයික් එකකට ආදරය කරන එක හරි ලේසි සහ හිත නොබිදෙන වැඩක් කියල. එක් කෙනාටනේ හිතන්න පුළුවන්, ආදරය කරන්න පුළුවන්, අනික් එක්කෙනාට තියෙන්නේ ආදරය ලබන්න විතරනේ.....

කොහොම හරි කමක් නෑ ,මිනිහ මේ ටිකේ පරණ දේවල් ටිකක් අමතක කරලා , අලුත් බයික් එකත් එක්ක ෆුල් හැපි එකේ ඉන්නේ ( ඔන්න ඉතින් දෙන්න දෙන්න ඉන්න අය මාත් එක්ක තරහ වෙන්න එපා මේක එක කතාවක් විතරයි නේ )

ඉස්කොලෙට මී පාසානම් බෙදපු හැටි








 ඔන්න ඉතින් මේක ඉස්කෝලේ යන පුංචි සන්දියේ කරපුවැඩක්....

එතකොට මම 4 වසරේ ගමේ ඉස්කෝලෙට තමයි ගියේ. ඉස්කොලෙ ගියාට මගෙනම් පොතට වැඩි ඇල්මක් නම් තිබුනෙ නැ, එ කිව්වට පොඩි ඇල්මක් වත් තිබුනෙ නැ, කොහොම හරි මට ඔනකලෙ මෙ නිල් අහස යට නිදහසෙ ඇවිදල ගස් වැල් සත්තු එක්ක ජීවත් වෙලා දෙවල් සැබෑවටම දැකල ඉගෙන ගන්න, පන්ති කාමරයේ හිරවෙලා පොත් කටපාඩම් කරකර විභග ලියන එක මටනම් කොහෙත් ම සබැ අධ්‍යාපන ය කියල පෙනුනේ නැ.....( කෝ අපි ඕක ගැන වෙන දවසක කතා කරමුකෝ )

ඔන්න ඉතින් දවසක් උදේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා එලියට එනකොට ගෙදර කල්ඉකුත් වෙලා විසිකරලා තිබුන බෙහෙත් පෙති වගයක් දැකල එකත් සාක්කුවේ දාගෙන ඉස්කෝලේ යන්න පිටත් උනා . දන්නවනේ ඒ කාලේ ඉතින් කලිසම් සාක්කු වල යකඩ කෑලියි , ලී පතුරුයි , මගදිගට හම්බ වෙන ගස්වල කොලයි මලුයි , ජිල් බෝලයි හැම දෙයකින්ම පිරිලා තියෙනවනේ. 

කොහොම හරි ඔය බෙහෙත් පෙති ටිකත් අරගෙන ඉස්කෝලේ ගියාට පස්සේ ඒ වා මීපාසනම් වර්ගයක් ලෙසත් එය දරුණු වර්ගයේ වසක් බවත් මී උවදුර නිසැක විසදුම ලෙස, මහත් වූ අබිමානයෙන් යුතුව හදුන්වා දෙන ලදී....ඉන්පසු මාත් මගේ මිතුරත් රෝස පැහැති සහ සුදු පැහැති පෙති සිසුන් හට නිර්ලොබිව බෙදා හරිනලදී. එ දින පුරාම පන්තියේ කතා බහ උයේ මේ නව මීපාසනම් වර්ගයෙන් මියන වදකරණ හැටිය.....

කෙසේ හෝ පසුදින උදැසන පාසල් යන විටත්, කවුදෝ, සිසුවකු පන්තියටම වස බෙදාහැර ඇතිබවත්, එම වස ලබා ගත සිසුන්ගේ දෙමාපියන් ගෙන් විදුහල් පති ගේ කාමරයේ පිරිතිබිනි, පසුව විදුහල්පති ගේ කැදවීමකට අනුව එම කාමරයට මාද මගේ භාර කරුවන්ද කැදවන ලදී. ඉන් පසු අවවාද , උපදෙස් , තරවටු කිරීම් මැද සතියක පමණ කාලයක් ගත කිරීමට සිදුවිය ...

වැස්ස අවුව සහ අපි


මහවැසි දින ගනන් , සති ගනන්
ගංවතුර හැමතැනම
ජල කදට සාප කර හිරු කිරණ
සොයන මිනිසුන් .............

හිරු කිරණ දින ගනන් , සති ගනන්
නියගයට අත වනන
ඒ හිරුට සාප කොට පැන් පොදක්
සොයන මිනිසුන්.............

දින පොතක ආරම්භය..

 

මමත් ඉතින් ඔය ඉස්සර කරපු කියපු දේවල් දැන් දැන් මගතොට සිද්ද වෙන දේවල් එතකොට හිතට එන එක එක දේවල් , පොඩි දින පොතක ලියන්න තීරණය කළා. අනුන් ගේ දින පොත් කියවන එක නරක වැඩක් නම් තමයි , ඒ උනාට ඒ හොරෙන් කියවන එකනේ , මේක බය නැතුව ඔයාලට කියවන්න පුළුවන් .

මම හිතන්නේ මේකේ පිටු හැම විදියකින්ම පිරෙය් කියල ආදරය , විරහව . දේශපාලනය , ආර්ථිකය ,මිතුදම , විහිළු , අපි ගැන මම ගැන ඔයාල ගැන තව හැම දෙයක් ගැනම . ඉතින් මේක කියවන ඔයාල මේකෙන් ජීවිතයට මොනවා හරි දෙයක් එකතු කර ගනී කියල මම හිතනවා ....... 
මගේ දිනපොතේ පිටු අද ඉදල ඔය ගොල්ලන්ට පෙරලන්න පුළුවන් ......... (හැබැයි බාල්දි නම් පෙරලන්න එපා)